Thursday 18th of June 2026

English Tamil
Advertiesment


නිදහස ජනතා සභාවෙන් සජබයට එන්නේ සිව් දෙනා ද නව දෙනාද..?


2023-12-17 14873

 

"ලංකාදීප" පුවත සාවද්‍යයි-නිදහස ජනතා සභාවේ නව දෙනෙකු සජබයට 

 

ඩලස් සජබයේ නියෝජ්‍ය නායකකම ඉල්ලලා 

 

මේ පුවත මුලින්ම හෙළි කළේ "lankanewsweek"

 

ඒ 2023.08.28 වැනිදා..!

 

ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුතු නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දහ තුන් දෙනාගෙන් නව දෙනෙකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය සමග සන්ධාන ගත වීමට එකඟතාවය පළ කර තිබේ.

කෙසේ නමුත් "ඩලස්ගේ කෑල්ලක් සජිත් ළඟට" යන ශීර්ෂය යටතේ "ලංකාදීප" පුවත්පතේ ජනමාධ්‍යවේදී අජන්ත කුමාර අගලකඩ මහතා 2023.12.17 වැනිදා එම පුවත්පතට වාර්තා කර තිබෙන්නේ එම සංඛ්‍යාව සිව් දෙනෙකු වන බවය.

"ඩලස් කපෝතියි-නිදහස ජනතා සභාවේ 9ක් සජබයට" යන ශීර්ෂය යටතේ මෙම පුවත 2023.08.28 වැනිදා මුලින්ම වාර්තා කර සිටියේ "lankanewsweek" අන්තර් ජාල වෙබ් අඩවිය වන අතර ඒ අනුව "ලංකාදීප" වාර්තාව සාවද්‍ය ප්‍රවෘත්තියක් බව කිව යුතුය.

ඩලස් අලහප්පෙරුම මහතා ආවත් නැතත් නිදහස ජාතික සභාවේ මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නව දෙනා සමගි ජන බලවේගය සමග සන්ධාන ගත වන අතර ඊට අදාළ සන්ධාන ගිවිසුම හෙට අනිද්දාම අත්සන් කිරීමට සියලු කටයුතු යොදා ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් "lankanewsweek" සමග පැවසීය.

ඩලස් අලහප්පෙරුමලා විපක්ෂයට පැමිණියේ, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව බංකොලොත් වුණාට පසුව යැයි ද, ඊට පෙර ඩලස් අලහප්පෙරුමලා එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් ජනතා විරෝධී සහ රටට අහිත කර සියලු තීන්දු තීරණවලට සේම ක්‍රියා මාර්ගවලට සිය දෑතම ඔසවා සහය පළ කළේ යැයි ද සමගි ජන බලවේගයේ එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමග සිටිමින් රට බංකොලොත් කිරීමට ඩලස් අලහප්පෙරුමලා ඍජුව දායකත්වය ලබා දුන් බව බුද්ධිමත් ජනතාව හොඳින්ම දන්නේ යැයි ද, රටේ ජනතාව මැරිලා ඉපදී නැතැයි ද එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේය.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස ඩලස් අලහප්පෙරු මහතා එදා ඉදිරිපත් කිරීමට විපක්ෂය කටයුතු කළේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 40ක් ඔහුට සහය පළ කිරීමට එකඟ වී සිටින බව ඔහු කියා සිටී නිසා යැයි ද, එහෙත් ඒ කිසිවෙකුත් ඔහු සමග පැමිණියේ නැතැයි ද, ඒ අවස්ථාවේදීත් ඩලස් අලහප්පෙරු මහතා රට-ජනතාව සහ විපක්ෂය රැවටූ බවට ද ඔහු චෝදනා කළේය.

ඩලස් අලහප්පෙරු මහතා බලය විමධ්‍ය ගත කරනවාට දැඩි ලෙස විරුද්ධ යැයි ද, ඔහු අන්තවාදී පුද්ගලයෙකු යැයි ද, අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තේරීමේ දී පාර්ලිමේන්තුවේ සිටින දෙමළ සහ මුස්ලිම් මන්ත්‍රීවරුන් ඔහුට ඡන්දය ලබා නොදුන්නේ ඒ නිසා යැයි ද සමගි ජන බලවේගයේ එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කළේය. 

ඩලස් අලහප්පෙරුම මහතා සමගි ජන බලවේගයට නොපැමිණෙන්නේ, එහි නියෝජ්‍ය නායක ධූරය තමාට ලබා දෙන ලෙසට ඔහු කළ ඉල්ලීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතික්ෂේප කළ නිසා යැයි ද, ඔහුගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සජිත් ප්‍රේමදාස මහතා ඔහුට කියා සිටියේ, රංජිත් මද්දුම බණ්ඩාර සහ ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨයින් සිටිය දී සමගි ජන බලවේගයේ නියෝජ්‍ය නායක ධූරය ඔහුට ලබා දිය නොහැකි බව යැයි එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා හෙළිදරව් කර සිටියේය.      
 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment